ඔවුහු ලෝකයේ ඇති සියලුම පාපැදි තරගවලට සහභාගී වන ක්‍රීඩකයෝ වෙති. ලෝකයේ විවිධ රටවල ඔවුන්ගේ නමින් ජයග්‍රහණ රාශියක් ද ලියැවී ඇත්තේ ඔවුන්ගේ එම ජයග්‍රහණ පිළිබඳ වාර්තා පවා ඇති බැවිනි. මෙරටටද ඔවුන් පැමිණියේ පාපැදි තරගයකට සහභාගී වීම සඳහාය. ලෝකයේ කිසිදු රටක නැති සොබා සුන්දරත්වය විඳගනිමින් සිය පුහුණුවීම්වල නියැලීමට ඔවුන් තීරණය කළේ එමනිසා විය හැකිය.
පසුගිය 20 වැනිදා ඔවුන් මෙරටට පැමිණියේ කල්තියාම තම තරගය පැවැත්වෙන කඳුකර ප්‍රදේශවල පුහුණුවීම් කටයුතු සඳහාය. එම ප්‍රදේශවල පුහුණුවීම් තුළින් සිය ජයග්‍රහණයට අවශ්‍ය සාධක සොයාගත හැකි බව ඔවුන් සිතන්නට ඇත.
මෙරට කඳුකරයේ හපුතලේ ප්‍රදේශයේ හෝටලයක් තුළ ඔවුන් නවාතැන් ගත්තේද සිය පුහුණුවීම් සඳහා පහසුවටය. තිදෙනකුගෙන් යුත් මොවුන්ගේ මෙම කණ්ඩායමට බ්‍රිතාන්‍ය ජාතිකයන් දෙදෙනෙක් සහ එක් නේපාල ජාතිකයෙක් ඇතුළත්ව සිටියහ.
සෑම දිනකම හිමිදිරියේ හිරු මුදුන්වනවාත් සමඟම ඔවුහු කඳුකරයේ සීතලත් තුරුලු කරගෙන සිය පුහුණුවීම් කටයුතු ඇරැඹූහ. කඳු, පල්ලම්, තේ වතු මැදින් ද දිවෙන කඳුකරයේ මාර්ග ඔවුන්ගේ පුහුණුවීම් ප්‍රදේශ වී තිබිණි. ඔවුන් පුහුණුව සඳහා කාලය වැය කළේ මෙරට සෞන්දර්යයද විඳගනිමිනි.
සුපුරුදු ලෙස පසුගිය 29 වැනිදා ඔවුන් තමන් නවාතැන් ගෙන සිටින හෝටලයෙන් පිටව යන්නේ පුහුණුවීම්වල නිරතවන්නටය. නේපාල ජාතිකයා පළමුවෙන්ද, බ්‍රිතාන්‍ය ජාතිකයන් දෙදෙනා ඊට තරමක් ඈතින්ද සිය පුහුණුවීම් කටයුතුවල නියැලෙමින් සිටියහ.
හපුතලේ තොටාගල පිටරන්මල ප්‍රදේශයේදී නේපාල ජාතිකයා සිය බයිසිකලය මඳකට නැවැත්වූයේ ගිමන්හැරීම සඳහාත් තම බයිසිකලයේ හුළං ප්‍රමාණය පරීක්ෂා කිරීම සඳහාත්ය. ජාත්‍යන්තර තරගවලදී ටයර්වල හුළං තත්ත්වය පරීක්ෂා කරන උපකරණයක්ද ඔහු සතු විය.
එම අවස්ථාවේදී එතැනට පැමිණි තරුණ ගැට වූ කිහිප දෙනකු කැඩිච්ච ඉංග්‍රීසි උච්චාරණය කරමින් නේපාල ජාතිකයාගෙන් විමසූයේ ඔහු අත තිබූ හුළං පරීක්ෂා කරන උපකරණය කුමක්ද යනුවෙනි.
ළෙන්ගතු සිනහවකින් පිළිතුරු පාමින් නේපාල ජාතිකයා පැවසුවේ එය රෝදවල හුළං පරීක්ෂා කරන ඉන්ජක්ෂන් එකක් බවය. මේ කතාව මෙතැනට පැමිණ සිටි තරුණ පිරිසට එතරම් දිරවුවේ නැත.
අනතුරුව ඔවුහු එය නේපාල ජාතිකයාගෙන් උදුරා ගැනීමට තැත් කළහ. වහාම ක්‍රියාත්මක වූ නේපාල ජාතිකයා තමන්ගේ අනෙකුත් යහළුවන් දෙදෙනාට මේ බව දුරකතනයෙන් පැවැසුවේය. තවත් සුළු මොහොතකින් එම ස්ථානයට පැමිණි බ්‍රිතාන්‍ය ජාතිකයන් දෙදෙනාද එම උපකරණය කුමක්ද යන්න පැමිණ සිටි පිරිසට පහදා දීමට උත්සාහ කළහ.
ඔවුන් එය පිළිගත්තාක් මෙන් පෙන්වා එම ස්ථානයෙන් ඉවත්ව ගියහ. විදෙස් ජාතික පාපැදිකරුවන් තිදෙනාද සිතුවේ එම ප්‍රශ්නය එතනින් අහවර වූ බවය. ඔවුහු නැවතත් සුපුරුදු ලෙස තමන්ගේ පුහුණුවීම් ආරම්භ කළහ.
නමුත් ඔවුනට පුහුණුවීම් යළි අරඹා යාමට හැකිවූයේ මඳ දුරකි. ත්‍රීරෝද රථ තුනකින් පැමිණි පිරිසක් ඔවුන් වටලා ගත්තේ ඔවුනට සිතීමට කාලයක්වත් ඉතිරි නොකරමිනි. කරුණු පහදා දීමට මොවුන් කොතරම් උත්සාහ කළද එයින් පළක් වූයේ නැත. යකඩ පොලු, ලී පොලු යොදාගනිමින් ඒ පැමිණි පිරිස ඇති තරම් තමන්ගේ ඇඟේ පතේ හිරි යවා ගත්තේ මොවුනට පහර දීමෙනි. එපමණකින්ද ඔවුන් නැවතුණේ නැත. එම විදේශිකයන්ට අයත් ජංගම දුරකතන සහ ඔවුන්ගේ මවුන්ටන් පාපැදි ද උදුරාගත් මෙම නරුමයෝ එතැනින් පළා ගියහ.
එම අවස්ථාවේදීම එතැනින් යමින් සිටි තවත් පිරිසක් පහර කා ලේ ගලමින් සිටි මෙම විදේශිකයන් තිදෙනා දුටුවේ ඔවුන්ගෙන් පූරුවේ කළ වාසනාවකටය. ඔවුහු පළමුවෙන්ම තුවාල ලැබූවන් දියතලාව මූලික රෝහලට ඇතුළත් කළහ.
මොවුනට පහරදුන් පිරිස සොයා හපුතලේ පොලීසිය පරීක්ෂණ ඇරඹුවේ ඉන් අනතුරුවය. සැකපිට 20 හැවිරිදි කම්කරු තරුණයකු අත්අඩංගුවට ගනු ලැබුවේ ඒ අනුවය. ඔහුගෙන් ලබාගත් ප්‍රකාශ අනුව තවත් සැකකරුවන් 18දෙනකු අත්අඩංගුවට ගන්නට සමත් වී තිබේ.
♦ හසිත් අංජන